කාර්‍යභාරය


අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරයාගේ විෂය පථය

 

  • පළාත් සභාව යටතේ ඇති අමාත්‍යාංශ, ආණ්ඩුකාරවර කාර්යාලය, සභා ලේකම් කාර්යාලය, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා, පළාත් පාලන අමාත්‍යවරයාගේ එකඟත්වය මත පළාත් පාලන ආයතන, ප්‍රඥප්ති යටතේ පිහිටුවා ඇති මණ්ඩල, අධිකාරී, ආයතන, අරමුදල් හා පළාත් සභා කාර්යයන් සම්බන්ධයෙන් පළාත් සභාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පවරා ඇති කාර්යයන් පිළිබඳව පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගි වී එම කටයුතු වල සහ වැරදි හා වංචා වැළැක්වීමට සහ අනාවරණය කර ගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත් බව හෝ ප්‍රමාණවත් බව පිළිබඳව අඛණ්ඩ සමීක්ෂණයක් හා ස්වාධීන ඇගයීමක් පවත්වාගෙන යාම.
  • පළාත් සභාව යටතේ ඇති යම් ආයතනයකට නියම කරනු ලබන හෝ ආයතනය විසින් භාර ගන්නා ලද සංවර්ධන ව්‍යාපෘති හා සංවර්ධන යෝජනා ක්‍රම සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා වැඩසටහන් සඵල කර ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට ප්‍රධාන ලේකම්වරයාට සහාය වීම.
 
  • පළාත් සභාවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් වෙන වෙනම අභ්‍යන්තර විගණන ඒකක පිහිටුවීම අවශ්‍ය නොවේ. එතෙකුදු වූවත් විශාල ප්‍රමාණයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල කටයුතු ආවරණය කිරීම සඳහා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ශාඛාවක් පිහිටුවිය යුතුය. එම ශාඛාවල කටයුතු සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරයා විසින් ප්‍රධාන ලේකම්වරයාට වාර්තා කළ යුතුය. ඊට අදාල වන අභ්‍යන්තර විගණන වැඩසටහන අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරයා විසින් සකස් කළ යුතු අතර අවස්ථාවෝචිත පරිදි සංශෝධනය කළ යුතු වන්නේය.
  • අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරයාගේ කාර්යයන්

     
    පළාත් සභාව සතු වියදම් හා ආයතන වල මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ කාර්යයන් පහත සඳහන් පරිදි වේ.
    • වැරදි හා වංචා වැළැක්වීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැකසීම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරීත්වය අතින් සාර්ථක දැයි සොයා බැලීම.
    • ගිණුම් හා වෙනත් වාර්තා වල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම හා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් මඟින් නිවැරදි මූල්‍ය ප්‍රකාශනයක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේ දැයි සොයා බැලීම.
    • කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම්, ඉටු කිරීමෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයේ ගුණාත්මකභාවය ඇගයීම.
    • ආයතනයේ වත්කම් සියළුම ආකාරයේ අලාභ හානි වලින් කොතරම් දුරට ආරක්ෂා වේදැයි සොයා බැලීම.
    • රජයේ ආයතන සංග්‍රහය පළාත් මූල්‍ය රීති, ආණ්ඩුකාරවරයා විසින් අදාල කරගනු ලබන රාජ්‍ය පරිපාලන හා භාණ්ඩාගාර චක්‍රලේඛ හා උපදෙස් පිළිපදිනු ලැබේ දැයි සොයා බැලීම.
    • නාස්තිය, නිෂ්කාර්ය ධාරිතාව හා අරපිරිමැස්මෙන් තොරව කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම අනාවරණය කර ගැනීමට ගෙන ඇති අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය සොයා බැලීම.
    • ආයතනයේ ගිණුම් පටිපාටිය හා කිසියම් මුදල් වැය වීමකට තුඩුදෙන එකී මෙහෙයුම් පරීක්ෂා කිරීම හා ආයතනයේ දේපල හා වගකීම් ආරක්ෂාකාරී ලෙස අරපිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේ දැයි සොයා බැලීම.
    • අවශ්‍ය අවස්ථා වලදී විශේෂ විමර්ශණ පැවැත්වීම.
    • පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභා කටයුතු වලදී හා පළාත් අරමුදල් ගිණුම් කාරක සභා කටයුතු වලදී ප්‍රධාන ලේකම්වරයාගේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීම.
    • විගණකාධිපතිවරයා විසින් පළාත් සභාවේ විවිධ ආයතන සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන විගණන විමසුම් සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීම.
    • සෑම මුදල් වර්ෂයක් වෙනුවෙන්ම පළාත සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන වැඩසටහනක් පිළියෙල කොට ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබා ගෙන ගරු ආණ්ඩුකාරතුමාට පිටපතක් සහිතව විගණකාධිපති වෙත යැවීම හා එම වැඩසටහන අනුව වාර්ෂික අභ්‍යන්තර විගණන කටයුතු මෙහෙයවීම.
    • අභ්‍යන්තර විගණන පරීක්ෂණ ඇසුරෙන්, ගණන් දීමේ නිලධාරීන් හා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් පදනම් කරගෙන සකස් කරන ලද ත්‍රෛමාසික වාර්තාවක් සකස් කර විගණකාධිපති හා ප්‍රධාන ලේකම්ට පිටපත් සහිතව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීම.
    • පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සහ අභ්‍යන්තර විගණන ඒකක වල කාර්ය මණ්ඩලය දැනුම, නව තාක්ෂණය හා ශිල්පීය ක්‍රම හඳුන්වා දීම සඳහා නිරන්තරයෙන් පුහුණු කිරීම් සංවිධානය කිරීම.
    • අභ්‍යන්තර විගණන කටයුතු සම්බන්ධව අන්තර් පළාත් සභා සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම.
    • අභ්‍යන්තර පාලනය දුර්වල ආයතන වල අභ්‍යන්තර පාලන ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ගණන් දීමේ නිලධාරීන්ට, ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට, අවශ්‍ය මඟ පෙන්වීම් නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම.

    පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරයාගේ බලතල

    • පළාත තුළ පිහිටි පළාත් සභාවේ සියළුම අමාත්‍යාංශ, ආණ්ඩුකාරවර කාර්යාලය, සභා ලේකම් කාර්යාලය, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා කාර්යාල, ප්‍රඥප්ති යටතේ පිහිටුවා ඇති අධිකාරී මණ්ඩල හා ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පවරා ඇති කාර්යයන් පිළිබඳව පළාත් පාලන අමාත්‍යවරයාගේ එකඟතාවය මත පළාත් පාලන ආයතන හා වෙනත් ආයතන වල පාලන ඒකක, ගිණුම් ඒකක හා වැඩබිම් සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන මූල්‍ය කටයුතු හා වෙනත් ඕනෑම ආකාරයක කටයුත්තක් සම්බන්ධයෙන් අදාල වන පොත්පත්, ලේඛණ, වාර්තා ලෙජර්, චෙක්පත් මුද්දර, මුදල් හා ඕනෑම ලේඛණයක් පරීක්ෂා කිරීම හා භාරයට ගැනීමේ අයිතිය.
    • අවශ්‍ය අවස්ථා වලදී විශේෂ පරීක්ෂණ මෙහෙයවීම් හා එම පරීක්ෂණ වලදී උද්ගත වන තත්ත්වයන් මත අවශ්‍ය නිලධාරීන්ගෙන් හා පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම.

    අභ්‍යන්තර විගණනයට සහාය දැක්විය යුතු බව

    අභ්‍යන්තර විගණන පරීක්ෂණ හා විමර්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය වන සහයෝගය හා පහසුකම් අභ්‍යන්තර විගණන නිලධාරීන්ට ලබා දීම සියළුම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ, ගණන් දීමේ නිලධාරීන්ගේ හා ආයතන ප්‍රධානීන්ගේ වගකීම වේ.
    වෙනත් රීතියක් හෝ විධි විධානයක් යටතේ රීති සත්භාවය ආරක්ෂා කළ යුතු යයි නියම කර ඇති අවස්ථාවක ඒ සඳහා ඊට අදාල ලියවිලි පරීක්ෂා කළ හැකිය.

     

    අභ්‍යන්තර විගණන පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම.

     

    අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරනු ලබන පරීක්ෂණ වාර්තා විගණකාධිපති, ප්‍රධාන ලේකම්, ගණන් දීමේ නිලධාරී හා අදාල ආයතනයට පිටපතක් සහිතව ගණන් දීමේ නිලධාරියා වෙත නිකුත් කළ යුතුය. විශේෂ පරීක්ෂණයක් සඳහා වන අවස්ථා වලදී ප්‍රධාන ලේකම්වරයා වෙත භාර දිය යුතුය.
දෙපාර්තමේන්තුව සතු භෞතික හා මානව සම්පත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් හැසිරවීම මඟින් දෙපාර්තමේන්තුවට අදාල කාර්යභාරය නීතිමය තත්වය තුල හැකිතාක් කඩිනමින් ක්‍රියත්මක කිරීම මූලික කර ගනිමින් පහත කාර්යයන් ක්‍රියාත්මක කරනු ලබයි.
  • පළාත් සභා පරිපාලනයේ සියලුම ආයතනයන් ආවරණය වන පරිදි විගණන කටයුතු හා පැවරෙන විමර්ශන රාජකාරි විධිමත් පරිදි ඉටු කිරිම.
  • ඌව පළාත් සභා පරිපාලනයේ ශීර්ෂ අංක 739 යටතේ I වන පන්තියේ දෙපාර්තමේන්තුවක් වශයෙන් පැවරෙන මූල්‍ය පරිපාලන හා වෙනත් කාර්යයන් ක්‍රියාත්මක කරමින් දෙපාර්තමේන්තුමය කාර්යයන් ඉටු කිරීම.
  • ඌව පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතනවල විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවීම හා කමිටු 80 ක කටයුතු සෑම කාර්තුවකටම අදාළ වන පරිදි ක්‍රියාකාරී මට්ටමින් පවත්වා ගැනීම.
  • ඌව පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතනවල මතුවන මූල්‍ය/ පරිපාලන/ සංවර්ධන හා වෙනත්  ගැටළුකාරිත්වයන් විගණන හා කළමනාකරණ කමිටු තුළින් විසඳීමට කටයුතු කිරිම.
  • අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව මඟින් ඉස්මතු කරනු ලබන  විගණන කළමනාකරණ කමිටුවලදී සමාලෝචන කරුණු පදනම්ව මුල්‍ය විචක්ෂණභාවය පවත්වා ගැනීමට ඌව පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනවල කළමනාකරණයේ අනුගතවීම් කරලීම.
  • පළාත් ගිණුම් කාරක සභාව නියෝජනය කිරිම, නිර්දේශ ඉදිරි පත් කිරිම මෙන් පළාත් ගිණුම් කාරක සභා නියෝග අනුව පරීක්ෂාවන් සිදු කර වාර්තා කිරිම තුළ මූල්‍ය පරිපාලන පද්ධතිය විධිමත් වීමට සහ විගණන ඡේදයන් අවම කිරිමටත් අවශ්‍ය සහය ලබා දීම.
  • පළාත් සභාව වෙත ලිඛිතව, වාචික මෙන්ම දුරකථන මාර්ගයෙන් ලැබුණු සියලුම බාහිර නියෝජනයන් ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය මත ස්වාධීනව පරීක්ෂා කර වාර්තා කිරිම තුළින් පාලන පද්ධතීන් විධිමත් කර ලීමටත් හැකියාව ලැබීමෙන් කළමනාකරණයට ඵලදායි තීරණ ගැනීමට හැකියාව ලැබීමත් මෙන්ම පළාත් සභා පරිපාලනය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කර ලීමටත් සහය වීම.
  • ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල විගණන හා කළමනාකරණ කමිටු පවත්වා ගෙන යාමේ නිතීමය අවශ්‍යතාවය මෙන්ම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිලිබඳව උපදෙස් ලබා දෙමින් පෙන්වා දෙනු ලබන විශේෂිත තත්ත්වය අනුව අභ්‍යන්තර විගණන චක්‍රලේඛ නිකුත් කිරිම.
  • අපේක්ෂිත විගණන පරීක්ෂණ ඉලක්කයන් ප්‍රමාණය ඉක්මවීම තුළින් ඉහළ කාර්ය සාධනයක් පවත්වා ගැනීම හා පළාත් සභා පරිපාලනයට යටත් ආයතනවල පාලන පද්ධතීන් ශක්තිමත් කර ගැනීමට සහය වීම.